Tesla Model 3

මොකක්ද මේ ලෝකෙම කතාවෙන ලංකාවෙ අපි දැකලවත් නැති Tesla Model 3

මේ දවස්වල ලොව කාගෙත් අවධානය දිනා ගත්ත car එකක් තමයි Tesla Model 3 කියන්නෙ. Tesla සමාගම දැනටමත් Model S සහ Model X කියල car මාදිලි දෙකක් නිෂ්පාදනය කරනව කියල හැමෝම දන්නවනෙ. එයාලගෙ අලුත්ම සාමාජිකයා තමයි Tesla Model 3 කියන්නෙ, මේ car එකත් Tesla සමාගමේ අනිත් car වගේම full electric car එකක්.

මේ Model 3 කාර් එකේ body style එක අනුව ගත්තොත්, 4-door fastback saloon (sedan) කාර් එකක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්. Class එක අනුව ගත්තොත් Model 3 එක හඳුන්වන්නෙ compact executive car (compact luxary car) එකක් හැටියටයි.

මේකට Model 3 කියන නම ලැබුනු හැටි ගැනත් අපූරු කතාවක් තියෙනව. Tesla car වල දැනටමත් S සහ X කියල මාදිලි දෙකක් තියෙනවනෙ, Tesla එකේ CEO, Elon Muskට ඕනෙ වුනේ අලුත් car එකට Model ☰ එහෙමත් නැත්නම් Model E කියල නම තියල, ඒ තුන එකතු කරල SEX කියන වචනය හදන්න. නමුත් Model E කියන එකේ අයිතිය තිබුනෙ Ford සමාගමට නිසා, අන්තිමට හදන්න වුනේ S3X කියන එක. Model E කියන එකට හරියන්න ☰ හැඩයට ලාංජනයකුත් design කරල තිබුනත්, Adidas සමාගමේ විරුද්ධත්වය නිසා ඒකත් අත හැරල ‘3’ කියන ලාංජනය බාවිතා කරන්න සිදුවුනා.

Tesla Model 3 Types
Tesla Model 3 Types

ඒ කොහොම වුනත්, Model 3 එකේ වෙළඳාම නම් ඉතාම සාර්ථකයි. මේ car එක හඳුන්වා දීල, සතියක් ඇතුලත 325,000ක් දෙනා, ඩොලර් 1,000ක තැන්පතු මුදල ගෙවල තමන්ට car එකක් වෙන් කරගෙන තිබුනා. එයින් පමණක් Tesla සමාගමට ලැබෙන්න තියෙන ආදායම ඩොලර් බිලියන 14ක්. මේ කාර් එක වෙන් කරගන්න මුලින්ම අවස්ථාව දීල තිබුනෙ Tesla සමාගමේ සහ SpaceX සමාගමේ සේවකයන්ට, ඉන් පසුව අවස්ථාව හිමි වුනේ දැනටමත් Tesla වාහනයක් හිමි අයට. 2017 ජූලි මාසේ තමයි, Model 3 කාර් එක ගනුදෙනු කරුවන්ට නිකුත් කරන්න පටන් ගත්තෙ, පලමු Tesla Model 3 එක හිමිවුනේ වෙන කාටවත් නෙමෙයි Elon muskටමයි. ඒ එයා Tesla එකේ CEO නිසා නම් නෙවෙයි. මුලින්ම පළමුවෙනි Model 3 එක වෙන් කරගෙන හිටියේ Tesla සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක් වන Ira Ehrenpreis, නමුත් ඔහු ඒක Elon Muskට, 46 වෙනි උපන් දිනයට තෑග්ගක් හැටියට ලබා දුන්නා.

Model 3 කාර් එක දැනට වර්ග දෙකකින් නිෂ්පාදනය කරනව, Standard model (50 kWh බැටරියක් සහිතව) සහ Long range model (75 kWh බැටරියක් සහිතව). ඒ දෙකේ විස්තර පහත වගුවෙ තියෙනව. අනිත් Tesla කාර් මාදිලි දෙකේම 85 kWh, 90 kWh, 100 kWh බැටරි තිබුනත්, Model 3 එකට එතරම් වැඩි ධාරිතාවයන් තියෙන බැටරි සවි කරන්න බැරි මේ කාර් එක අනිත් Tesla කාර් වලට වඩා කුඩා නිසායි.

Standard මාදිලිය Long-range මාදිලිය
යා හැකි දුර කිලෝ මීටර් 350 (සැතපුම් 220) කිලෝ මීටර් 501 (සැතපුම් 310)
පැයට කිලෝ මීටර් 0-97 තත්පර 5.6 තත්පර 5.1
උපරිම වේගය පැයට කිලෝ මීටර් 210 පැයට කිලෝ මීටර් 225
බැටරිය 50 kWh 75 kWh
Tesla Model 3 Interior
Tesla Model 3 Interior

Model 3 එක ගත්තොත් දැනට තියෙන්නෙ අශ්ව බල 258ක, මෝටර් එකක් පමණක්, සවි කරපු rear wheel drive මාදිලිය පමණයි. අනිත් Tesla කාර් වගේ P (Performance) මාදිලියේ හෝ D (Dual motor, all-wheel drive) මාදිලියේ Model 3 රථ දැනට නිපදවන්නේ නෑ. කෙසේ වුවත් 2018 වර්ශය වනවිට P සහ D මාදිලියේ මෝටර් රථ නිපදවන බවයි Tesla සමාගම පවසන්නේ.අනිත් Tesla මාදිලි වල dash board එකේ, සාමාන්‍යයෙන Display දෙකක් (steering wheel එක පි‍ටුපස අඟල් 12.3ක් සහ dash board එකේ මැද අඟල් 17ක touchscreen එකක්) තිබුනත්, Model 3 එකේ තියෙන්නේ එක, අඟල් 15ක dipslay එකක් පමණයි. මේ display එක හැරුණුකොට, Model 3 එකේ dash board එකේ වෙන මුකුත්ම නෑ.

Tesla Model 3 කාර් වෙන් කරගත්ත ගනුදෙනු කරුවන්ගෙන ඉතාම සුළු පිරිසකට පමණයි දැනට Model 3 රථ ලබා දීල තියෙන්නෙ. ඒ නිසා ලංකාවෙ පාර තොටේ Tesla Model 3 එකක් දකින්න තව සෑහෙන කාලයක් ගතවේවි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *