Revenue License Sri Lanka

වාහන ආදායම් බලපත්‍රය (යනු?) ගනු!

රථගාය කියන්නෙ ටිකක් අමාරු රෝගයක්, රථගායට [තිත] LK එකේ අරමුණ මේ රෝගයට පිළියම් කරන එක. රථගාය තියෙන අය ගොඩක් වෙලාවට අමාරුවෙ වැටෙන තැනක් තමයි රථවාහන සම්බන්ධ නීති නොදැන සිටීම. මේකෙත් කොටස් දෙකක් තියෙනව,

  1. මාර්ග නීති
  2. ලියකියවිලි

ලියකියවිලි ගැන කියනවනම් රථයක් පදවනකොට තියෙන්නම ඕනෙ දෙයක් තමයි වාහන ආදායම් බලපත්‍රය.

වාහන ආදායම් බලපත්‍රය

බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමාසාරිස් කාර්යාලයේ, 1991 අංක 07 වන බස්නාහිර පළාත් මෝටර් වාහන ප්‍රඥප්තියේ අංක 2(1) ට අනුව බස්නාහිර පළාතේ මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් හෝ ප්‍රාදේශීය ලේකම් මගින් නිකුත් කරන ලද වලංගු ආදායම් බලපත්‍රයක් නොමැතිව මෝටර් වාහනයක් කිසිම තැනැත්තෙකු විසින් පළාත තුල භාවිතා කිරීම හෝ ළග තබා ගැනීම නොකළ යුතුය. අනිත් පළාත් වලත්, ඒ පළාතට වලංගු වාහන ආදායම් බලපත්‍රයක් තියෙන්න ඕනෙ.

Revenue License Details
Revenue License Details

ආදායම් බලපත්‍රය ගැන මේ දේවල් ඔයාලා දන්නවද බලන්න.

  • ආදයම් බලපත්‍රය වසරක කාල සීමවක් සදහා නිකුත් කරයි
  • වාහනය ලියාපදිංචි කළ දිනය ආදායම් බලපත්‍රයේ ආරම්භක දිනය වේ.
  • වාහනය මුල් ලියාපදිංචි දිනයේ සිටම වලංගු ආදායම් බලපත්‍රයක් ලබාගෙන තිබීම අනිවාර්ය වේ
  • නිකුත් කළ ආදයම් බලපත්‍රයේ කොන්දේසි වලින් බැහැරව පළාත තුල වාහනය භාවිතා නොකළ යුතුයි
  • වාහනය මාස 6 කට නො අඩු කාල සීමාවකට භාවිතා නොකිරීමකට බලාපොරොත්තු වන්නේ නම් භාවිතා නොකරන බවට භාවිතා නොකිරීමේ නිවේදනයක් ලබා ගත හැක
  • වාහනයක හිමිකම පැවරීම සදහා අයදුම්පත්‍රය භාරදී ලියාපදිංචි සහතිකය ලැබී නොමැති නම් ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී MTA11 හා CMT52 ආකෘතිපත්‍ර ඉදිරිපත් කළ යුතුය
  • වාහනයේ හිමිකම ඔබගෙන් බැහැර වන සෑම අවස්ථාවකදීම නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නීත්යානුකූල කර ගත යුතුය
  • රජයේ ආයතන සතු වාහනත් ආදායම් බලපත්‍රය ගන්න ඔනේ

මෙන්න මේ වගේ වාහන ආදායම් බලපත්‍රය ගැන තව දැනගන්න බොහෝ දේවල් තියෙනව. ඒ හැම දේම දැනගෙන ඉන්න එක, රථගාය තියෙන අයගෙ ඇඟට ගුණයි. වැඩි විස්තර ඕනෙනම්, මෙන්න මේ අංක වලට කතා කරන්න.

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
0112 694 331

0112 694 336

වාහනේක ආදායම් බලපත්‍රය ගන්න ඕන ලියවිලි මොනවද?

ඔයාල දන්නවද වාහනේක ආදායම් බලපත්‍රය ගන්න මොනවද ඉදිරිපත් කරන්න ඕන ලියවිලි මොනවද කියලා,

  1. වාහනයේ ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත / ලීසිං සමාගමකින් සහතික කරන ලද පිටපත
  2. වාහනයට අදාල වලංගු රක්ෂණ සහතිකය
  3. නිකුත් කළ දින සිට දින 60 නොඉක්මවූ වායු විමොචන සහතිකය (දුම් සහතිකය)
  4. වෙළඳ වාහනයක්නම්, බස්නාහිර පළාත තුළ ලියාපදිංචි ගරජයකින් හෝ දිවයිනේ ඕනෑම ප්‍රදෙශයක ශ්‍රී ලංගම ඩිපෝවකින් හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව නිකුත් කළ සහතික කරන ලද වලංගු යෝග්‍යතා සහතිකය
  5. මගී ප්‍රවාහන මාර්ග බලපත්‍ර හිමි වාහනයක් නම්, අදාල ආයතන මගින් නිකුත් කරන ලද අවම වශයෙන් දින 14ක් වලංගු මාර්ග බලපත්‍රය (Route Permit)
  6. වෙනත් පලාතක සිට බස්නාහිර පලාතට මාරු වී ඇති වාහනයක් නම් එම පළාතෙන් නිකුත් කර ඇති නොබැදි පිටපත (Loose Leaf)
  7. වෙන්දේසියකින් මිලදී ගත් රජයේ වාහනයක් නම් වාහනය මිලදී ගත් ලියවිලි මුදල් ගෙවු රිසිට්පත් හා පවරනු ලැබූ ලියවිලි
  8. Brand New ලෙස ලියාපදිංචි තත්වයේ පවතින වාහන සදහා පළමු වරට බලපත්‍ර ලබා ගැනීමේදී යෝග්‍යතා සහතිකය හා දුම් සහතිකය අවශ්ය නොවේ
  9. ඒ වගේම තමයි, හයිබ්‍රිඩ් (Hybrid)/ විදුලි (Electric)/ LP ගෑස්/ 1975ට කලින් ලියාපදින්චි කළ වාහන සදහා වායු විමෝචන සහතිකය (දුම් සහතිකය) ඕන වෙන්නෙ නෑ

මල කෙලියයි! වාහනයේ ආදයම් බලපත්‍රය නැති වෙලානෙ

වාහනයේ ආදයම් බලපත්‍රය නැති උනාද? එහෙනම් අළුත් බලපත්‍රයක් ගන්න මේ ලියවිලි ටික මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් / ප්‍රදේශීය ලේකම්ට දෙන්න ඕනේ,

  • ලිඛිත ඉල්ලීම
  • පොලිස් පැමිණිල්ලේ පිටපත
  • ජාතික හැදුනුම්පතේ පිටපත
  • වාහනයේ ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත / ලීසිං සමාගමකින් සහතික කරන ලද පිටපත
  • වාහනයට අදාල වලංගු රක්ෂණ සහතිකය
  • වායු විමොචන සහතිකය (දුම් සහතිකය)

මෙහිදී ආදායම් බලපත්‍රයේ ඉතිරි කාල සීමාවට අදාලව ගාස්තුවක් ගෙවන්න ඕනෙ.

තව මොනවද දැනගන්න ඕනෙ

ඔය කියපුවට අමතරව මෙන්න මේ කරුණත් මතක තියා ගන්න,

වාහනයේ අයිතිය නීත්‍යානුකූලව තමාට පවරානොගෙන, ඒ කියන්නෙ ‘Open papers’ යටතේ වාහනය පාවිච්චිකරන එක හොඳ දෙයක් නෙමෙයි

ආදායම් බලපත්‍ර සම්බන්ධව මතුවන ඕනම ගැටළුවකදී, මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යලය අමතන්න,

මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලය
කොමසාරිස් : 0112 446 870
සහකාර කොමසාරිස් : 0113 056 335
ගණකාධිකාරී : 0113 056 334
කාර්යාලය : 0112 436 415

6 Comments

  • Chamari පිළිතුරු සැපයීම

    දකුණු පළාතට අයත් වාහනයක ආදායම් බලපත්‍රය මාලිගාවත්ත කාර්යාලයෙන් ගන්න පුළුවන්ද?

    • රථගායට[තිත]LK පිළිතුරු සැපයීම

      චමරි,

      දකුණු පළාතට අයත් වාහනයක ආදායම් බලපත්‍රය මාලිගාවත්තේ පිහිටි කාර්යාලයෙන් හෝ වෙනත් ස්ථානයකින් ලබාගැනීමට නොහැකියි.

  • Sajith පිළිතුරු සැපයීම

    වෙනත් පලාතක ලියාපදිංචි වාහනයක ආදායම් බලපත්‍රය ලබා ගන්න, ඒ අදාල ලියාපදිංචි පලාතේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකට යන්න ඕනද? දැන් වාහනය භාවිතා කරන පලාතේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින් ගන්න බැරිද?

    • සජිත්,

      ඕනෑම වාහනයක ආදායම් බලපත්‍රය ලබාගත හැක්කේ, වාහනය ලියාපදිංචි කළ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් පමණී.

  • Priyantha පිළිතුරු සැපයීම

    ආදායම් බලපත්‍රයේ පිටපතක් වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවා තැබීම අනිවාර්ය ද ?

    • ප්‍රියන්ත,

      වලංගු වාහන ආදායම් බලපත්‍රයක් තිබීම පමණක් ප්‍රමාණවත් නොවන අතර එහි පිටපතක් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *