Self Driving Uber Taxi

Uber කල මගඩි එලියට, සමනිර්මාතෲ හා ප්‍රධාන විධායක නිළධාරී Travis Kalanickත් එලියට

Uber යනු

Uber යන නම කී පමණින් ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නවා වුවද, Uber යනු ලොව පුරා රටවල් බොහෝ ගණනක ක්‍රියාත්මක වන, ලොව විශාලතම සහ ජනප්‍රියම taxi සේවයයි. Uber යනු ලංකාවේ තරමක් ප්‍රචලිත ‘Pick me’ taxi සේවයට සමාන සේවයක් වන අතර මින් සිදුකරන්නේ ජංගම දුරකතන මෘදුකාංගයක් හරහා පුද්ගලයින්ට taxi ලබා දීමයි. මෙහිදී taxi රියදුරන් Uber සේවය තුළ register වියයුතු අතර, taxi අවශ්‍ය පුද්ගලයින්ට තම ජංගම දුරකථනයේ තිබෙන App එක හරහා, තමා සිටින ස්ථානයට taxi ගෙන්වාගත හැක.

Uber helicopter taxi in Dubai
Uber helicopter taxi in Dubai

2009 වසරේ ඇරඹි Uber සමාගම ඉතා ඉක්මනින් වර්ධනය වූ අතර, එය හැඳින්වූයේ අළුතින් ඇරඹි සමාගම් වලින් වටිනාම සමාගම (most valuable start-up) ලෙසයි. කෙසේ වුවද 2017 වසර ආරම්ඹයේ සිටම Uber සමාගමට උදාවූයේ යහපත් කාලයක් නොවේ. විවිධ චෝදනා, නඩු හබ, වන්දි, සේවය හැරයාම් ආදී කරදර ‍රැසකට ලොව පුරා රටවල් ගණනාවකදී මුහුණ දිමට Uber සමාගමට සිදුවුනි. ඉන් වඩාත්ම බරපතල කාරණාව වූයේ Uber සමාගම විසින් කල හොර වැඩ එලිවීමය.

Greyball

මින් වඩාත්ම කතාබහට ලක්වූ කාරණා කිහිපයක්ම තිබූ අතර, ඉන් ප්‍රධාන කරුණක් වූයේ, Uber සමාගම විසින් භාවිත කළායැයි සැලකෙන ‘Greyball’ නැමති රහසිගත මෘදුකාංගයයි. Uber සමාගම විසින් මේ මෘදුකාංගය භාවිත කර ඇත්තේ පොලිස් නිළධාරීන් හෝ ප්‍රවාහන අධිකාරීවල නිළධාරීන් Uber taxi වලට ගොඩවීම වැළක්වීමටයි. ඔවුන් මෙම ක්‍රමය ලොව පුරා රටවල භාවිත කර ඇති අතර, මෙමගින් විවිධ රජයේ ආයතන වල නිළධාරීන් Uber සමාගමේ ක්‍රියාකාරීත්වය පිළිඹඳව තොරතුරු ‍රැස්කිරීම වළක්වා ඇත. මෙම Greyball මෘදුකාංගය මගින් සිදුකරන්නේ, Uber සමාගමට විරුද්ධව තොරතුරු ‍රැස්කිරීමට ඉඩ ඇති නිළධාරීන්ගේ user profile වලට Greyball යනුවෙන් tag කිරීමයි. මෙසේ tag කරන ලද user කෙනෙකු තමාගේ ජංගම දුරකථනයේ Uber මෘදුකාංගය ක්‍රියාත්මක කලවිට, Uber taxi ලඟපාතක නැතිබව හෝ බොරු Uber taxi (Ghost cars) පෙන්වීම සිදුකරනවා. මෙවැනි user profile හඳුනාගැනීමට විවිධ ක්‍රම භාවිතකර ඇති අතර, ඉන් එක ක්‍රමයක් වන්නේ රජයේ ආයතන පිහිටි ස්ථාන හා ඒවයේ වැඩ ආරම්ඹ වන සහ අවසන් වන වේලාවන් පිළිඹඳව සෙවිල්ලෙන් සිටීමයි. Uber සමාගම මෙවැනි මෘදුකාංගයක් ඇති බව පිළිගෙන ඇතත්, ඔවුන් පවසන්නේ එහි අරමුණ අනතුරුදායක හෝ Uberහි කොන්දේසි වලට යටත් නොවන පුද්ගලයන් මගහැරීම බවත්, නීති නිළධාරීන් මගහැරීමට එය භාවිත නොකරන බවත්ය.

God view

Uber සමාගම කල තවත් මගඩි වැඩක් හෙලි වූයේ Buzzfeed වෙබ් අඩවියේ වාර්තාකාරණියක් වන Johana Bhuiyan, Uber සමාගමේ කළමණාකරැවකු වන Josh Mohrer සමග හමුවීමක් යොදාගත් අවස්ථාවකයි. මෙම හමුවීම සදහා Johana Bhuiyan පැමිණියේ Uber taxiයකින් වන අතර, ඇයව පුදුමයට පත්කරමින්, කාරයෙන් බසින විටම ඇයව පිළිගැනීමට Josh Mohrer පැමිණ සිටියා. මේ ගැන විමසූ විට ඔහු කියා ඇත්තේ ඇය පිටත් වූ තැන සිට, ඇය යන මාර්ගය ඔහු විසින් බලා සිටි බවයි. මෙ‌ම සිදුවිමත් සමගම හෙලි වූයේ Uber සමාගමේ සේවකයන් සතුව ‘God view’ නමින් හදුන්වන මෘදුකාංගයක් තිබෙන බවත්, එමගින් ඔනෑම user කෙනෙකු යන එන තැන් පිළිඹදව සොයාබැලිය හැකි බවත්ය.

තවත් හෙළිදරව්වකින් එළි වුයේ, Uber සමාගමේ සේවකයින් විසින් මෙම God view මෘදුකාංගය ඉතා බරපතල ලෙස අවභාවිත කර ඇතිබවයි. ඔවුන් මෙම මෘදුකාංගය භාවිතයෙන් උසස් දේශපාලඥයන්, ප්‍රසිද්ධ පුද්ගලයින් යන එන තැන් පිළිඹඳව ඔත්තු බලා ඇති අතර, එක් අවස්ථාවකදී ලෝකප්‍රසිද්ධ ගායිකා Beyonce පිළිඹඳව පවා ඔත්තු බලා ඇති බව වාර්තා වේ. ඊට අමතරව, Uber සමාගමේ සේවකයන් විසින්, තමාගේ පෞද්ගලික ඕනෑ එපාකම් මත, තමාගේ කලින් පෙම්වතිය/ පෙම්වතා හෝ කලින් බිරිඳ/ සැමියා ගැන ඔත්තු බැලීමට පවා God view මෘදුකාංගය යොදාගත් බව වාර්තා වේ. මේ පිළිඹඳව අදහස් දක්වමින් Uber සමාගමේ ප්‍රකාශකයකු පවසා තිබුනේ, මෙවැනි ක්‍රියාවන්ගේ යෙදුණු සේවකයින් අයින් කිරීමට කටයුතු කළ බවත්, ඒ සංඛ්‍යාව 10ට අඩු සංඛ්‍යාවක් බවත්ය. කොහොම වුනත් මේ ආන්දෝලනාත්මක මෘදුකාංගය ‘Heaven View’ කියල නම වෙනස් කරල තියෙනව කියලත් වාර්තා වෙනව.

Both Uber and Lyft logos on a car
Both Uber and Lyft logos on a car

Hell

තවත් වතාවක හෙළිදරව් වූයේ, Uber සමාගම විසින්, ඔවුන්ගේ ප්‍රාධානම තරඟකරුවා වන, ලොව දෙවන විශාලතම taxi සේවය වන Lyft සමාගමේ taxi රියදුරන් සිටින තැන හඳුනාගැනීමට “Hell” නැමැති මෘදුකාංගයක් භාවිත කළ බවයි. ඔයාල බොහෝ දෙනෙක් අනුමාන කරනව වගේ මේක “Hell” කියල නම් කරල තියෙන්නේ, කලින් කියපු “God veiw (Heaven view)” මෘදුකාංගවල විරුද්ධ කාර්යය කියන අදහසින් තමයි. මෙම Hell මෘදුකාංගයෙන් කරන්නෙ, බොරු Lyft user profile හදල, එමගින් Lyft taxi රියදුරන් සිටින තැන් හඳුනාගන්න එක.

ප්‍රධාන විධායක නිළධාරී Travis Kalanick

මෙම සිද්ධීන්ට අමතරව, Uber සමාගමේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේ පවතින විවිධ අපචාර ක්‍රියා කිහිපයක් පිළිඹඳවද වාර්තා වූ අතර, මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වූයේ Travis Kalanickට තම තනතුරින් ඉවත් වීමට සිදු වීමයි. Kalanick ප්‍රධාන විධායක තනතුරින් ඉවත් වුවද, ඔහුගේ මූලිකත්වයෙන් ඇරඹි සමාගමින් ඔහු සම්පූණයෙන්ම ඉවත්නොවනු ඇති අතර, එයට හෙතුව වන්නේ Kalanick අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු වන නිසා හා, තවමත් Uber සමාගමේ කොටස්වල බහුතර බලය (majority of voting shares) ඇත්තේ ඔහුට නිසාවෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *