Lamborghini Asterion LPI 910-4

මේ Hybrid කාර් පාරෙදි හම්බුනොත් Toyota Prius වලට ඇඬෙයි!

ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙ අනිත් රටවල වුනත් hybrid කාර් කිව්වාම කාටත් මතක් වෙන්නෙ Toyota Prius. ඒ මොකද Prius එක ඒ තරම්ම ජනප්‍රියයි. තවත් Hybrid කාර් කොපමණ තිබුනා වුවත්, Hybrid කාර් ජනතාව අතරට ගෙනියන්න Toyota Prius එක සමත්වුනා කිව්වොත් හරි. හරියට කියනවනම් Hybrid කාර් නව මානයකට ගෙනියන්න Prius එකට පුළුවන් වුනා. Honda Insight, Honda Fit, Toyota Aqua ආදී විවිධ වර්ගයේ Hybrid කාර් තිබුනත්, ඒ එකකටවත් Prius එකට තරඟයක් දෙන්න බැරි වුනා. ඒ නිසා බොහෝ දෙනෙකුට Hybrid කිව්වොත් Prius තමයි. Prius එකක් තියෙන කෙනෙක්ව හඳුන්වන්න ‘Toyota Prius රථයක සාඩම්බර හිමිකරුවෙක්’ කියන වාක්‍ය යොදා ගන්නෙ ඒ නිසා. නමුත් මෙතන තියෙන මේ Hybrid කාර් වල හඳුන්වාදීමත් එක්ක, තවදුරත් එසේ හඳුන්වන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්!

Porsche 918

Porsche 918 Spyder - Weissach Package
Porsche 918 Spyder – Weissach Package

Porsche 918 කියන්නෙ Porsche සමාගම විසින් නිපදවන Hybrid Sportscar එකක්. මේකත් වැඩ කරන්නෙ Toyota Prius එකක් වගේම තමයි. ඒ කියන්නෙ මේකට අශ්ව බල 608ක 4.6 L V8 එන්ජිමක් තියෙනව. ඊට අමතරව තවත් අශ්ව බල 279ක් ලබා දෙන electric මෝටර් දෙකකුත් තියෙනව. ඒ තුනම එකතු වුනාම 918 එකට අශ්ව බල 887ක් තියෙනව. මේ car එකේ තියෙන electric මෝටර් දෙක බල ගැන්වෙන්නෙ 6.8 kWh lithium-iron බැටරියකින්. ඕනනම් 918 එකට, එන්ජිම නැතුව බැටරියෙන් විතරක් යන්නත් පුළුවන්, එහෙම යනවනම් කිලෝ මීටර් 19ක (සැතපුම් 12ක) වගේ දුරක් තමයි යන්න පුළුවන්. Porsche 918 එකේ පැයට කිලෝමීටර් 0-100ට යන්න ගතවෙන්නෙ තත්පර 2.2ක වගේ කාලයක්, ඒ නිසා තමයි දැනට තියෙන පාරෙ යන්න වලංගු (stree-legal) car වලින් වෙගවත්ම car එක බවට 918 එක පත්වෙලා තියෙන්නෙ. මේ car එකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 340ක් (පැයට සැතපුම් 210ක්). ඇමරිකන් ඩොලර් 845,000කට මිල කරල තිබුනු මේ car එක නිෂ්පාදනය ආරම්භ කලේ 2013 නොවැම්බර් මාසේ. මේ car එකේ නිෂ්පාදනය car 918කට සීමා වුණු අතර, 2014 දෙසැම්බර් වෙනකොට ඒ ඔක්කොම විකිණිලා ඉවර වුණා.

Ferrari LaFerrari

Ferrari LaFerrari
Ferrari LaFerrari

LaFerrari කියන්නෙ ඉතාලියේ Ferrari සමාගමේ නිපදවන Hybrid Sportscar කාර් එකක්. LaFerrari කියන එකේ තේරුමත් ‘The Ferrari’ කියන එකම තමයි, Ferrari සමාගම ඒ නම දාල තියෙන්නේ, මේ car එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Ferrari එකක් කියන අදහසිනුයි. LaFerrari එකට අශ්ව බල 789ක 6.3 L V12 එන්ජිමකුත්, අශ්ව බල 161ක් ලබාදෙන electric මෝටරයකුත් සවි කරල තියෙනව. මේ electric මෝටරය LaFerrari එකට බලය සපයන්නෙ, මේකෙ තියෙන ‘HY-KERS’ පද්ධතිය හරහා. Formula1 කාර් වල තියෙන සමාන්‍ය KERS (Kynatic Energy Recovery System) පද්ධතිය වැඩිදියුණු කරල තමයි, මේ LaFerrari එකේ HY-KERS (Hybrid KERS) පද්ධතිය හදල තියෙන්නෙ. හැබැයි ඒ නිසා LaFerrari එකට එන්ජිම නැතුව බැටරියෙන් විතරක් යන්න බැහැ. මේ ගැන Ferrari සමාගම නම් කියන්නෙ, එහෙම කලොත් LaFerrari එක electric කාර් එකක් වෙනව, electric කාර් හදන්න නම් එයාලගෙ කිසිම උනන්දුවක් නෑ කියල. ඒ කොහොම වුනත්, පැයට කිලෝමීටර් 0-100ට, තත්පර 2.4කින් යන්න පුළුවන් මේ car එකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 349ක් (පැයට සැතපුම් 217ක්). මුලින්ම 2013 දී නිෂ්පාදනය ආරම්භ කරපු මේ car එකෙන්, 499ක් හදන්න තමයි Ferrari සමාගම සැළසුම් කරල තිබුනේ, මේ car එක මිල ඇමරිකන් ඩොලර් මිලියනයටත් වඩා වැඩි වුනත්, මේ car 499ම 2016 වෙනකොට විකිණිලා ඉවර වුනා. කොහොම වුනත් 2016 අගෝස්තු මාසෙ Ferrari සමාගම නිවේදනය කළා ඔවුන් 500වෙනි LaFerrari එකකුත් හදන්න තීරණය කළා කියල, ඒ විෂේශ අරමුණක් වෙනුවෙන්. මේ Ferrari එක නිෂ්පාදනය කලේ, ඒක වෙන්දේසි කරල ලැබෙන මුදල්, ඉතාලියේ භූමි කම්පා වලින් විපතට පත්වූ අයගේ සුභ සාධන කටයුතු සඳහා වන පදනමකට ලබාදීමටයි.

McLaren P1

McLaren P1
McLaren P1

අනිත් කාටත් කලින් Hybrid Sportscar එකක් නිෂ්පාදනය කරල market එකට දැම්මේ බ්‍රිතාන්‍යයේ McLaren සමාගමයි. 2012 වසරෙදි මුලින්ම හඳුන්වා දුන් මේ car එකේ අලෙවිය පටන් ගත්තෙ 2013 ඔක්තොම්බර් මාසේ. P1 එකෙන් කාර් 375ක් විතරක් හදන්න තමයි McLaren සමාගම සැලසුම් කරල තිබුනෙ, ඒ 375ම 2013 නොවැම්බර් මාසෙ වෙනකොට අලෙවි වෙලා ඉවර වුනා. P1 එකට අශ්ව බල 727ක 3.8 L twin-turbo V8 එන්ජිමකුත්, අශ්ව බල 176ක් ලබා දෙන electric මෝටරයකුත් සවි කරල තියෙනව. මේ දෙකම එකතු වුනාම P1 එකට අශ්ව බල 903ක් තියෙනව. P1 එකටත් එන්ජිම නැතුව බැටරියෙන් විතරක් යන්න පුළුවන්, එහෙම යනවනම් කිලෝ මීටර් 10ක (සැතපුම් 6.2ක) වගේ දුරක් තමයි යන්න පුළුවන්. McLaren P1 එකට පැයට කිලෝමීටර් 0-100ට යන්න ගතවෙන්නෙ තත්පර 2.8 ක වගේ කාලයක්, ඒ වගේම P1 එකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 350කට (පැයට සැතපුම් 217කට) සීමා කරන්න McLaren සමාගම කටයුතු කරල තියෙනව. මේ car එකේ මිල නියම කරල තිබුනේ ඇමරිකන් ඩොලර් 1,350,000කට වුවත්, P1 මිලදී ගත්ත අයගෙන් 75% විතර, තමන්ගේ car එක customize කරන්න කටයුතු කරපු නිසා, P1 එක අලෙවි වුනු සාමාන්‍ය මිල ඇමරිකන් ඩොලර් 1,600,000ක් පමණ වුනා.

Honda NSX

Honda NSX
Honda NSX

මේ car එක නම් අපි කවුරුත් හොඳින් දන්න, ලංකාවේ ඉතාම ජනප්‍රිය, ජපානයේ Honda සමාගමේ නිෂ්පාදනයක්. Hybrid Sportscar එකක් අන්තිමටම එළිදැක්වුවෙ Honda සමාගම වුනත්, Hybrid Sportscar එකක් හදන්න ඕනෙ කියල Honda සමාගම සැලසුම් කලේ බොහෝ කාලෙක ඉඳලයි. ඇත්තටම එයාලට ඕන වෙලා තිබුනේ, Honda සමාගම 1992දී එළි දක්වපු, අදටත් ඉතාම ජනප්‍රිය Honda NSX (New Sportscar eXperimental) කාර් එකේ අළුත් version එකක් එළි දක්වන්නයි. ඉතින් ඒකට එක එක consepts සලකා බලනකොට, Honda සමාගමට අදහසක් ආවා, මේ අළුත් NSX එක Hybrid Sportscar එකක් හැටියට නිෂ්පාදනය කලානම් හොඳයි කියල. මේ ආරංචිය ආවෙ 2010 වසරේ අවසාන භාගයේදී වුවත්, අළුත් NSX එක (New Sports eXperience, නම එක වුනත් තේරුම පොඩ්ඩක් වෙනස්) market එකට ආවෙ 2016 වසරේදී. Honda NSX එකට අශ්ව බල 500ක twin-turbocharged 75-degree DOHC 3.5L V6 එන්ජිමක් සහ electric මෝටර් තුනක් සහිත SH-AWD (Sports Hybrid-All Wheel Drive) පද්ධතියක් තියෙනව තියෙනව, ඒ ඔක්කොම එකතු වුනාම NSX එකට අශ්ව බල 573ක් තියෙනව. මෙතන තියෙන අනිත් car එක්ක ගත්තහම නම් අශ්ව බල 573ක කියන්නෙ එතරම් ලොකු ගාණක් නෙමෙයි, නමුත් සාමාන්‍ය Hybrid කාර් එක්ක ගත්තහම, අශ්ව බල 573ක් කියන්නෙ ලොකු ගාණක්. සාමාන්‍ය මිල ඇමරිකන් ඩොලර් 156,000ක් වන, මේ car එකේ පැයට කිලෝමීටර් 0-100ට, තත්පර 2.9කින් යන්න පුළුවන්, ඒ වගේම උපරිම වේගය පැයට කිලෝමීටර් 307ක් (පැයට සැතපුම් 191ක්). අනිත් Hybrid Sportscar වගේ, NSX එක සීමිත සංඛ්‍යාවක් නිපදවන (Limited production) model එකක් නෙමේයි, ඒ වගේම මිලත් සාපේක්ෂව අඩුයි, ඒ නිසා ලංකාවේ අපේ පාරවල් වලත්, නුදුරු දිනකදී Honda NSX දකින්න ලැබේවි.

ප.ලි.

ආ! ඔය උඩම තියෙන photo එකේ තියෙන්නෙ Lamborghini Asterion LPI 910-4 එකක්. නමේම තියෙනව වගේ, මේ car එක Lamborghini සමාගම ඉදිරිපත් කරපු Hybrid කාර් consept එකක්. මේ car එක තාම හදල නෑ, ඒ නිසා පාරෙදි හම්බවෙන්න විදිහක් නෑ! කවදහරි දවසක පාරෙදි හම්බුනොත් එදාට විස්තර දාන්න පුළුවන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *