Bugatti Chiron Super Sport 300+

පැයට සැතපුම් 300 සීමාව පසුකළ පළමු මෝටර් රථය: Bugatti Chiron

කාලෙන් කාලෙට මෝටර් රථ සමාගම් ලෝක වාර්තාවන් තබන්න උනන්දු වනවා. ඒ තමාගේ නම ලොව පුරා ප්‍රසිද්ධ කිරීමටයි. ඒ වගේ ලෝක වාර්තාවක් ගැන තමයි මේ කියන්නෙ යන්නෙ. ලොව ප්‍රථම වතාවට මෝටර් රථයක් පැයට සැතපුම් 300 සීමාව පසු කිරීමට සමත්ව තිබෙනවා.

එම වාර්තාවට හිමිකම් කියන්නේ Bugatti Chiron Super Sport 300+ රථයයි. මෙම වාර්තාගත Bugatti රථය පදවන ලද්දේ, Bugatti සමාගමේ නිළ රියදුරු (Test driver) Andy Wallace විසිනි. එය සනාථ කරන ලද්දේ TÜV, Germany’s Technical Inspection Association විසිනි.

Bugatti Chiron Super Sport රථයට පැයට සැතපුම් 304.77ක වේගයකට ලඟාවීමට හැකි විය. මේ වාර්තාව තබන ලද්දේ Volkswagen සමාගමේ, ජර්මනියේ පිහිටි Ehra-Lessien ධාවන පථයේදීයි. Bugatti Chiron රථයේ වැඩිදියුණු කල මාදිලිය Sport ලෙස හඳුන්වන අතර, වාර්තාව තබන ලද්දේ තවදුරටත් වැඩි දියුණු කළ Super Sport 300+නම් රථයකින්ය. Bugatti සමාගමේ, exterior design අංශයේ ප්‍රධානී Frank Heyl ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ මාස ගණනාවක ප්‍රථිඵලයක් ලෙස මේ වාර්ථාව පිහි‍ටුවීමට සමත්ව තිබෙනවා.

Super Sport 300+ රථය නිපදවන ලද්දේ, චැසි නිපදවීමේ ප්‍රවීනයන් වන Dallara සමාගම් සහ Michelin ටයර් සමාගමේ සහයෝගය ඇතිවයි. සාමාන්‍ය Chiron Sport රථයට වඩා 25cm දිගින් වැඩි මේ රථය Long tail මාදිලියක් ලෙස හඳුන්වනවා. දිගින් වැඩි වීම, car එකේ වායු ගතික බව (aero dynamic) බව වැඩි කීරීමට උපකාර වනවා. පි‍ටුපසට අමතරව, ඉදිරිපසද වායු ගතික බව වැඩි කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදුකර තිබෙනවා. car එකේ බඳට අමතරව, එන්ජිමේද වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා

සාමාන්‍ය Chiron Sport රථයේ තිබෙන 1500PS බලයක් දෙන එන්ජිම, 1600PS බලයක් ලබාදිය හැකි ලෙස වැඩිදියුණු කර තිබෙනවා. ඊට අමතරව, මෙම රථයට විශේෂයෙන් නිපදවූ දුම් බටයක්ද සවිකර තිබෙනවා. මින් සිදු කරන්නේද වාත ප්‍රතිරෝධය අඩු කිරීමයි. Bugatti සමාගම ලඟදී හඳුන්වා දුන් Centodieci රථයේද දැක ගත හැකි වන්නේ මේ එන්ජිම සහ දුම් බටයයි. Super Sport 300+ රථයේ all-wheel-drive පද්ධතිය සහ ගියර් පද්ධතිය, සාමාන්‍ය Chiron රථයට සමාන වන අතර කිසිඳු වෙනස්කමක් සිදුකර නැහැ. සාමාන්‍ය Chiron රථයේ දැකගත හැකි, පි‍ටුපස ත‍ටුව rear wing එක සහ air break කොටස මෙම රථයෙන් ඉවත් කර තිබෙනවා

මේ car එකේ දැක ගන්නට පුළුවන් තැඹිලි පහැය, Bugatti සමාගමේ Suport Sport රථයන්ට ආවේනික වන මෝස්තරයකි. එය මීට ඉහතදී වේග සීමා වාර්ථාවට හිමිකම් කියූ Bugatti Veyron Super Sport රථයේද දැක ගත හැකි වුනා. මෙම රථය සාමාන්‍ය මාර්ගවලද ධාවනය කළ හැකි රථයක් වීම විශේෂයි. ඉදිරියේදී මීට සමාන රථ වෙළඳපලට නිකුත් කිරීමට Bugatti සමාගම බලාපොරොත්තු වන අතර මෝටර් රථ 30ක් පමණක් නිපදවන බවයි පැවසෙන්නේ.

පැයට සැතපුම් 300 සීමාව පසු කිරීමට මෙම රථ වලට හැකි වුවත්, සාමාන්‍ය Chiron රථයේ මෙන්, මෙම රථයේද speed limiter එකක් ඇතුලත් වනවා. අයිතිකරුවන්ට අවශ්‍ය නම්, Ehra-Lessien ධාවන පථය තුලදී, මෙය ඉවත්කොට උපරිම වේග සීමාවට ලඟාවීමට අවස්ථාව ලබා දීමට Bugatti සමාගම සූදානම්. ඇමරිකන් ඩොලර් මිලියන 3.9කට මිලකර ඇති මේ රථය 2021දී පමණ වෙළදපලට නිකුත් කිරීමට නියමිතයි. ඊට අමතරව, මෙම වාර්ථාව තැබීමට භාවිතා කල Bugatti රථය, ඒ ආකාරයෙන්ම (බඳේ සහ වීදුරුවේ වැදුනු කැබලි සමඟ) තබා ගැනීමට නියමිතය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *