2018 Ford GT

තම Ford GT මෝටර් රථය විකිණූ John Cenaට Ford සමාගමෙන් නඩු!

John Cena කියන්නෙ ලංකාවෙ රථගාය තියෙන අය අතර විශේෂයෙන් ප්‍රසිද්ධ නැති වුනත්, wrestling ගාය, එහෙම නැත්නම්, wrestling පිස්සුව තියෙන අය අතර බෙහෙවින් ප්‍රසිද්ධ කෙනෙක්. මුල් කාලයේ wrestling ක්‍රීඩාවෙන් ජනප්‍රිය වුනු ඔහු, පසුව නළුවෙකු ලෙසද බෙහෙවින් සාර්ථකත්වයට පත්වු අතර, ලොවපුරා ජනතාවගේ ජනාදරයට පත්වුණා.

ඔහුගේ රසිකයින්ගේ බලවත් සිත්තැවුලට හේතු වෙමින්, පසුගිය දිනක Ford සමාගම විසින් ඔහුට නඩු පවරනු ලැබුවා. ඒ ඔහු අළුතින් මිලදීගත් Ford මෝටර් රථය විකුණූ නිසාවෙනි. පුවත් පත් වල සහ අන්තර්ජාලයේ, “මුදල් හදිසියක් නිසා” යැයි සඳහන් කර, කි.මී. 5,000ක් වත් ධාවනය නොවු රථ වාහන විකුණන අවස්ථා අපි ඕනෑ තරම් දැක තිබෙනවා. පිටරටවලද මෙය දැක ගත හැකි අතර, ඒ කිසිඳු අවස්ථාවක, කිසිම සමාගමක් ඔවුන්ට නඩු පැවරූ පුවතක් මෙතෙක් වාර්ථා වී නැත. Ford සමාගමෙන් John Cenaට නඩු පැවරීමට හේතුව, ඔහු විකිණූ රථය විශේෂ මෝටර් රථයක් වීමයි, ඒ නවතම Ford GT රථයක්.

Ford GT (1st Gen)

Ford සමාගම Ford GT රථය මුළින්ම හඳුන්වාදුන්නේ 2002 වසරේදී වන අතර, ඒ Ford සමාගමේ සියවන උපන් දිනය සැමරීමටයි. 1960 දශකයේ Le Mans තරඟාවලිය සඳහා යොදාගත් සුප්‍රසිද්ධ GT40 රථයේ පෙනුම අනුසාරයෙන් මෙය නිර්මණය කෙරුණි. හැඩය මුල් GT40 රථයට සමාන වුවද, Ford GT රථය දිගින්, පළලින් සහ විශේෂයෙන්ම උසින් වැඩිය.

Ford GT (1st Gen) vs GT40
Ford GT (1st Gen) vs GT40
අශ්ව බල 550ක් නිපදවන 5.4L Supercharged V8 එන්ජිමකින් සමන්විත Ford GT රථයේ උපරිම වේගය 330 Kmph (205mph) වූ අතර 0-100Kmph (0-62mph) යාමට ගතවූ කාලය තත්පර 3.8ක්

එය 2005 සහ 2006 වසර වලදී නිෂ්පාදනය වුනු අතර, මෝටර් රථ 4038කට පමණක් සීමා වුණි.

Ford GT (2nd Gen)

2018 Ford GT

Ford GT රථයේ දෙවන පරම්පරාවේ මෝටර් රථය හඳුන්වා දුන්නෙ 2015 වසරේදි North American International Auto Showහී දීය. ඒ Ford සමාගමේ සුප්‍රසිද්ධ GT40 රථය 1966 දී 24 Hours of Le Mans තරඟය ජයග්‍රහනය කොට වසර 50ක් පිරීම සැමරීමටයි. මේ රථය නිර්මාණය කිරීම ඉතා රහසිගතව සිදුවූ අතර, එහිදී මුලින්ම කෙරුණේ පිටත පෙනුම නිර්මාණය කිරීමයි. මෙහි අරමුණ වූයේ Le Mans තරඟ වලට ගැලපෙන ආකාරයේ මෝටර් රථයක් නිර්මාණය කිරීම වන අතර, එහිදී වායුගතික බව (aerodynamic efficiency) වැඩි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරුණි. යොදාගන්නා එන්ජිම පිළිඹඳව අවධානය යොමු කෙරුණේ දෙවනුවට වන අතර, එහිදී V8 එන්ජිමක් හෝ V12 එන්ජිමක් යොදාගැනීමට සැලසුම් කළද, කුඩා එන්ජිමක් භාවිත කිරීමෙන් නිර්මාණකරුවන්ට සැලසෙන පහසුව සළකා, අවසානයේ Ford සමාගමේ EcoBoost V6 එන්ජිමක් භාවිතා කිරීමට තීරණය කෙරුණි.

එන්ජිම සහ බලය

මේ car එකේ තියෙන 3.5L twin-turbocharged V6 එන්ජිමෙන් අශ්ව බල 647ක් නිපදවූ අතර, උපරිම වේගය 348 Kmph (216 mph) වන මෙම මෝටර් රථයට 0-97 Kmph (0-60 mph) යාමට ගතවන්නෙ තත්පර 3.0ක්

මෙහි ඇතුළත් වන්නෙ වේග 7ක (7-speed) dual-clutch ගියර් පද්ධතියක් වන අතර, අවලම්බන පද්ධතිය (suspension system) ලෙස යොදාගෙන ඇත්තේ pushrod suspension system එකක්. එයට හේතුවද, නිර්මාණකරුවන්ට කැමතිලෙස හැඩය වෙනස් කිරීමට ඉඩ ඉතිරි වීමයි. කෙසේ වුවද මේ suspension system එක මගින් වාහනය සහ පොළොව අතර උස කැමති පරිදි වෙනස් කළ හැකි අතර, සාමාන්‍ය අවස්ථාවේ එය 120mm වන අතර Track mode හා Vmax mode වලදී එය 70mm දක්වා අඩු කළ හැකියි. ඊට අමතරව පාරේ හමුවන බැමි වලින් පහසුවෙන් යාමට, ඉදිරිපස පමණක් උස වැඩිකිරීමටද හැකියි.

විශේෂාංග

Ford GT Engine and Airflow Tunnels
Ford GT Engine and Airflow Tunnels
  • Gorilla Glass
  • Airflow Tunnel
  • Active Spoiler
  • Titanium Exhaust

මුළින් සඳහන් කළ පරිදි, වායුගතික බව වැඩි කිරීම සහ බර අඩුකිරීම කෙරෙහි මෙම car එක නිර්මණය කිරීමේදී වැඩි අවධානයක් යොමු කර ඇත. මෙහි ඉදිරිපස වීදුරුව නිර්මාණය කොට ඇත්තේ, අප කවුරුත් දන්නා ජංගම දුරකථන තිර (smartphone screens) සඳහා යොදා ගන්නා Corning සමාගමේ Gorilla Glass වලින්. Gorilla Glass වල ශක්තිමත් බව නිසා, ඉදිරිපස වීදුරුව තුනීවට සෑදිය හැකි අතර එමගින් බර අඩු කරගත හැකියි. අළුත් Ford GT එකේ පි‍ටුපස ඇති වායු කවුළු (airflow tunnels) මේ car එකේ විශේෂ ලක්ෂණයක්. ඉදිරිපස බොනට්‍ටුවේ දක්නට ලැබෙන නාස් සිදුරු ආකාරයේ වා කවුළුද මෙයට විශේෂ වන අතර, ඒවා GT40 රථයේද දැකගත හැකිවුණා. මෙහි පි‍ටුපස ඇති active spoiler එක අවශ්‍ය පරිදි ආනතිය වෙනස් කර, වේගයෙන් යාමට අවශ්‍ය විට රෝද වලට ඕනෑ කරන ඝර්ශන බලය ලබා දීමටද, වාහන ඉක්මනින් නවතා ගැනීමට අවශ්‍ය විට වාත ප්‍රතිරෝධය ලබාදීමටද කටයුතු කරනවා.

2020 වසර සහ ඊට පසු නිකුත් කරන Ford GT වල එන්ජිමේ බලය අශ්ව බල 660 දක්වා වැඩි කොට ඇති අතර, බර අඩු කර ගැනීම සඳහා, Akrapovic සමාගම විසින් නිෂ්පාදනය කළ titanium exhaust system එකක් භාවිත කොට තිබෙනවා

Ford vs John Cena

Ford සමාගම John Cenaට නඩු දමා ඇත්තේ, ඔහු ලඟදී මිලදී ගත් 2017 Ford GT රථය විකුණූ නිසා. අළුත් Ford GT රථ 500කට ආසන්න සංඛ්‍යාවක් පමණක් නිපදවන නිසා, විශේෂ ක්‍රමයකට ‍තෝරා ගත් සීමිත පිරිසකට පමණයි Ford GT රථයක් මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇත්තේ. නමුත් මෙයට ඇති ඉල්ලුම නිසා විශාල පිරිසක් Ford GT රථ මිලදීගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අතර විශාල මුදලකට නැවත විකිණීමේ හැකියාව පවතිනවා.  ඒ නිසා Ford සමාගමේ විකිණීමේ ගිවිසුමට අනුව වසර දෙකක් යනතෙක් Ford GT රථයක් විකිණීමට තහනම්. නමුත් John Cena මෝටර් රථය මිලදීගෙන මාසයක් යන්නත් කලින් ඒක විකුණල තිබුන නිසා තමයි, Ford සමාගම ඔහුට විරුද්ධව නඩු පවරල තියෙන්නෙ. මේ ගැන John Cena නම් කියන්නෙ වෙන කථාවක්,

ඇත්තටම මම මේ car එක විකිණුවෙ “මුදල් හදිසියක් නිසා”. මම මේක මිලදී ගත්ත Florida වල අලෙවි නියෝජිතය දීපු ගිවිසුමේ එහෙම වගන්තියක් තිබුනෙ නෑ

John Cena

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *