Toyota Mirai Second Generation

Electric වාහන charge කර කර ඉන්න අකමැති ඔබට විසඳුම: ගොම වලින් දුවන, පරිසර හිතකාමී ජපන් වාහනයක්

අපි දන්න කියන කාලෙ ඉඳල වාහන දිව්වෙ බොර තෙල් වලින් වෙන්කර ගත්ත දේවල් වලින්. ඒ කියන්නෙ පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් වලින්, එහෙම නැත්නම් ගෑස් වලින්. බොර තෙල් ගන්නෙ පොළොවෙන්. පොළොවෙ විශාල බොරතෙල් සංචිත ප්‍රමාණයක් තිබුනා වුනත්, ලෝකය ශීග්‍රයෙන් දියුණු වෙනකොට, භාවිතය ඉහල ගිහින් මේ බොරතෙල් සංචිත ප්‍රමාණය ශීග්‍රයෙන් ඉවර වෙන්න පටන් ගත්තා.

පරිසර දූෂණය

ඊට අමතරව මෙයින් වෙන පරිසර දූෂණය ගැන ලොව පුරා විවිධ කතා බහ ඇතිවෙන්න පටන් ගත්ත. පරිසර සංවිධාන වලින්, රාජ්‍ය නොවන සංවිධාන වලින් සහ පර්යේෂකයන්ගෙන් බලපෑම් එල්ල වෙන්න පටන් ගත්ත වාහන නිෂ්පාදන සමාගම් වලට සහ රජයන්වලට, වහන වලින් වන පරිසර හානිය අඩුකරන්න කියල. ඒ වගේම, මිනිස්සුත් මේ ගැන දැනුවත් වෙනකොට, ඔවුනුත් පරිසර හිතකාමී වාහන ගැන උනන්දු වෙන්න පටන්ගත්ත. මේකට විද්‍යාඥයො සහ වාහන නිෂ්පාදන සමාගම් විවිධ විසඳුම් හොයන්න පටන් ගත්තා.

කාලෙන් කාලෙට විව්ධ පුද්ගලයින් මේකට විවිධ විසඳුම් ගෙනාවා. නමුත් ඒ එකකටවත්, අපි භාවිතා කරන ෆොසිල ඉන්ධන වලට සම කරන්න, අද වෙනකන් හැකි වෙලා නෑ. ඒකට ප්‍රධානම හේතුව තමයි, ෆොසිල ඉන්ධන භාවිතයේ තිබෙන පහසුව. ඒවා ඕනෑම තැනකදී මිලදී ගත හැකි අතර, නැවත පිරවීමට ගතවන්නේ සුළු වේලාවක්. ඊට මදක් හෝ සමකරන්න පුළුවන් ආදේෂකයක් හැටියට බිහිවෙලා තියෙන්නෙ විදුලියෙන් ධාවනය වන වාහනයි. දැන් electric වාහනවල එක වරක් ආරෝපණය කර යාහැකි දුර ඉතා හොඳ මට්ට්ටමක තිබුනා වුවත්, නැවත ආරෝපණය කිරීමට ගතවන කාලය, ප්‍රායෝගිකව භාවිත කළහැකි මට්ටමට අඩු වී නෑ.

Fuel Cell Vehicles

මේ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට, බොහෝ වාහන නිෂ්පාදන සමාගම් උත්සාහ කරන දෙයක් තමයි fuel cell vehicles. ඇත්තම කියනවනම් fuel cell vehicle තාක්ෂණය මුලින්ම ලෝකයට හඳුන්වාදුන්නෙ, internal combustion engine එක හඳුන්වාදුන්නු කාලයේමයි. Fuel cell vehicle එකක කරන්නෙ, වාතයේ තිබෙන ඔක්සිජන් සහ සම්පීඩනය කරන ලද හයිඩ්‍රජන් භාවිතයෙන් විදුලිය නිපදවල, එමගින් විද්‍යුත් මෝටරය පණ ගැන්වීමයි. Fuel cell ලෙස හඳුන්වන්නේ මෙහි ඇතුලත්, සම්පීඩනය කරන ලද හයිඩ්‍රජන් පිරවූ ටැංකියයි. එහි හයිඩ්‍රජන් ප්‍රමාණය අඩුවූ විට, සාමාන්‍ය ඉන්ධන පුරවන ආකාරයටම, ඉතා සුළු වේලාවකින් හයිඩ්‍රජන් පුරවාගත හැකියි. Fuel cell vehicle එකක් භාවිතයේදී පරිසර දූෂණයක් වන්නේම නැතිතරම් වන අතර, එයට හේතුව එයින් නිකුත් වන්නේ ජලය සහ තාපය වීමයි. කෙසේ වුවද මීට යොදා ගන්නා හයිඩ්‍රජන් නිෂ්පාදන ක්‍රියාවලිය අනුව පරිසර දූෂණයක් සිදුවිය හැකියි. Fuel cell vehicle සඳහා බහුලව භාවිතා කරන්නෙ හයිඩ්‍රජන් වන අතර, ඊට අමතරව, polymer electrolyte membrane, methanol, phosphoric acid ආදී වෙනත් ආදේශක භාවිතා කරන fuel cell vehicleද පවතිනවා. ඒවයේ විදුලිය නිපදවන ආකාර එකිනෙකට වෙනස්.

Fuel cell තාක්ෂණය බහුලවම භාවිතා වන්නේ මෝටර් රථ, බස් රථ සහ fork lift සඳහා වන අතර, යතුරු පැදි, පා පැදි, ගුවන් යානා, බෝට්‍ටු, සබ්මැරීන්, දුම්රිය සහ ට්‍රක් රථ සඳහාද අත්හදා බැලීම් සිදුකර ඇත. රථවාහන නිෂ්පාදන සමාගම් කිහිපයක්ම, මේ වනවිට fuel cell vehicle මාදිලි බොහොමයක් එළි දක්වා ඇත. ඒ අතරින් බෝහෝ ජනප්‍රිය වූ මාදිලි කිහිපයක් තමයි මේ.

  • Ford Foxus FCV (2003-2006)
  • Nissan X-Train FCV (2003-2013)
  • Chevrolet Equinox FC (2007-2009)
  • Mercedes-Benz F-Cell B-Class (2010-2014)
  • Hyundai Tucson Fuel Cell (2014-2018)
  • Toyota Mirai (2015-present)
  • Honda Clarity Fuel Cell (2016-present)
  • Hyundai Nexo (2018-present)

ගොමවලින්  දුවන ජපන් වාහන මොනවද?

Toyota Mirai and Truck

Fuel cell vehicle එකක් පරිසර හිතකාමී වන්නේ, පුනර්ජනනීය බලශක්ති (renewable energy) භාවිතයෙන්, හයිඩ්‍රජන් හෝ අදාල fuel cell ඉන්ධන වර්ගය නිපදවන විටයි. මෙයට විසඳුමක් හැටියට, Toyota සමාගම ගොම භාවිතයෙන් fuel cell vehicle සඳහා හයිඩ්‍රජන් නිපදවීමට බලපොරොත්තු වනවා. ඔවුන්ගේ සැලසුම වන්නේ කිරි ගොවිපලවල් වලින් ගන්නා ගොම භාවිතයෙන් මෙතේන් ලබාගෙන, එමගින් ජලය, විදුලිය සහ හයිඩ්‍රජන් නිපදවීමයි. ලෝකප්‍රසිද්ධ බොරතෙල් නිෂ්පාදන සමාගමක් වන Shell සමාගම සමඟ එකතුව ක්‍රියාත්මක කරන, Tri-Gen ලෙස නම් කර ඇති මෙම කම්හල දැනටමත් වැඩ ආරම්භ කර ඇති අතර, එමගින් දිනකට විදුලිය මෙගා වොට් 2.35ක් සහ හයිඩ්‍රජන් ටොන් 1.2ක් නිපදවීමට බලාපොරොත්තු වේ. මෙම ධාරිතාවය සාමාන්‍ය ප්‍රමාණයේ නිවාස 2,350ක් සහ වාහන 1,500ක සාමාන්‍ය දෛනික අවශ්‍යතාවය සැපිරීමට ප්‍රමාණවත් බවයි ගණන් බලා ඇත්තේ. ඔවුන්ගේ වර්තමාන fuel cell vehicle මාදිලිය වන Toyota Mirai සහ ඔවුන්ගේ ට්‍රක් රථ බල ගැන්වීමට මෙම හයිඩ්‍රජන් යොදා ගැනීම ඔවුන්ගේ මූලික අරමුණයි.

Toyota Mirai

Toyota සමාගම පවසන ආකාරයට, රථවාහන ක්ෂේත්‍රයේ අනාගතය මෙය වන අතර, Mirai යනු ජපන් බසින් ‘අනාගතය’ යන්නයි. Toyota Mirai රථය මුලින්ම එළි දැක්වුනේ 2014 Los Angelese Auto Showහි දීය. මහජනතාවට අලෙවිය සඳහා නිෂ්පාදනය කල fuel cell vehicle මාදිලි වලින් එකක් වන Mirai රථය, මේ වන විට 11,000කට අධික සංඛ්‍යාවක් අලෙවි වී ඇත. එක් වරක් ඉන්ධන පිරවූ විට යා හැකි දුර කිලෝ මීටර් 502ක්.

Toyota Mirai Cutaway

Mirai රථයේ ධාවන පද්ධතිය සඳහා Toyota සමාගමේ hybrid වාහන වල භාවිතා වන, Hybrid Synergy Drive පද්ධතියට අයත්, විද්‍යුත් මෝටර්, පාලන කට්ටල ආදී බොහෝ කොටස් භාවිතා වනවා. මෙමගින් Mirai රථයේ නිෂ්පාදන වියදම අඩු වන අතර, විශ්වසනීයත්වය (reliability) වැඩි වනවා. සාමාන්‍ය Toyota Hybrid රථ අයුරින්ම, Mirai රථයද, අඩු වේගයන් වලදී බැටරිවල ගබඩා කර ඇති ශක්තිය භාවිතා කර විදුලියෙන් පමණක් ධාවනය වන අතර, වැඩි වේගයන් වලදී හයිඩ්‍රජන් fuel cell භාවිතයෙන් ධාවනය වනවා. ඊට අමතරව වැඩි බලයක් අවශ්‍ය වූ විට (උදා: වාහන පසුකර යාමට) බැටරි වලින්ද බලය සපයන අතර, තිරිංග යොදන අවස්ථාවලදී නැවතත් බැටරි ආරොපනය වනවා (regenerative braking).

Toyota Miraiහී second generation මාදිලිය 2021දී වෙළදපලට නිකුත් කිරීමට නියමිතයි. කලින් මාදිලිය front-wheel-drive වුවද, අළුත් Mirai එක rear-whee-drive මාදිලියක් බවයි පැවසෙන්නේ. එසේම, මෙයට එකවරක් හයිඩ්‍රජන් පිරවීමෙන් පසු, first generation එකේ car එකකට වඩා 30%ක දුරක් යා හැකිය. Toyota සමාගම පවසන්නේ, Mirai රථයක් වසරක් භාවිතා කිරීමට එක ගවයකුගේ ගොම ප්‍රමාණවත් බවයි.

ඔබත් පරිසර හිතකාමී මෝටර් රථයක් භාවිතා කිරීමට බලපොරොත්තු වන හෝ කැමැත්තක් දක්වන කෙනෙක් නමුත්, electric car එකක් charge කරන්න පැය ගණනක් ගත කරන්න අකමැති කෙනෙක් නම්, මේක හොඳ විසඳුමක්. හයිඩ්‍රජන් පිරවුම් හල්, සාමාන්‍ය ඉන්ධන පිරවුම් හල් තරම් සුලභ නැති වුවත්, ඒවා සුලභ කිරීමට ලොව පුරා රටවල රජයන් සහ වාහන නිෂ්පාදන සමාගම් දැනටමත් කටයුතු කරන බවයි පෙනෙන්නට තියෙන්නෙ.
හරි! පරිසර හිතකාමී car එකක් ඕනෙ වුනත්, ලෑල්ලටම පාගල ගියත් එන්ජිමෙන් සද්දයක් එන්නෙ නැති නිසා, 
electric හෝ fuel cell වාහනයකට අකමැති කෙනෙකුට මොකක්ද තියෙන විසඳුම? ලඟදීම බලාපොරොත්තු වන්න...

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *