Alfa Romeo Carabo

Car එකේ දොරට අත අහු වුනාද? මෙන්න විසඳුම! Scissor Doors

කාර් පාවිච්චි කරන ගොඩක් දෙනෙකුට වෙන ඇබැද්දියක් තමයි, car එකේ දොරට අත අහුවෙන එක. ගොඩක් වෙලාවට මේක වෙන්නෙ car එක පැත්තකට ඇලවෙලා හිටින විදිහට නවත්තල බහින්න යනකොට. සාමාන්‍යයෙන් වාහනයක දොරක් සම්පූර්ණයෙන්ම සහ හරි අඩක් විවෘත කළාම ස්ථායීව හිටින විදිහට තමයි හදල තියෙන්නෙ. නමුත් ලොකු ඇලයක් තිබුනොත් එහෙම හිටින්නෙ නෑ, දොර ආපහු එනවා. ඒවගේම තමයි කුඩා ඉඩක වාහනේ park කළාම දොර අවශ්‍ය තරම් විවෘත කරන්න බෑ, ඒ වගේ වෙලාවටත් දොර ආපසු ඇවිත් අත අහුවෙන්න පුළුවන්.

සාමාන්‍ය car එකක මේක ලොකු අඩුපාඩුවක් නොවුනාට, ඉතා මිල අධික supercar එකක මේ වගේ දෙයක් වෙනවානම් ඒක ලොකු අඩුපාඩුවක්. ඒ නිසා තමයි ඒ වගේ car වල වෙනස් විදිහට ඇරෙන දොරවල් තියෙන්නෙ. මේ කියන්න යන්නෙ ඒ වගේ මිල අධික මොටර් රථ වල දක්නට ලැබෙන වෙනස් ආකාරයේ දොරවල් වර්ග ගැන.

Scissor Doors

බොහෝමයක් supercar වල දක්නට ලැබෙන දොර වර්ගයක් තමයි scissor door කියන්නෙ. මේ දොර විවෘත වෙන්නෙ, කතුරක් ඇරෙන ආකාරයට. ඒ කියන්නෙ එක ලක්ෂයක් වටා කෙලින්ම car එකෙන් උඩට. දොර විවෘත කළාම එහෙමම හිටින නිසා ආපහු එන්නෙ නෑ, ඒ වගේම කුඩා ඉඩක වුවත් විවෘත කරන්න පුළුවන්. මේ වර්ගයේ දොරක් සවිකිරීමේ අදහස වුනේ, එන්ජිම පි‍ටුපස තිබෙන මෝටර් රථ reverse කිරීමේදී, දොර විවෘත කර රියදුරා ඇඟේ උඩ කොටස car එකෙන් එළියට ගෙනවිත් පි‍ටුපස බලාගෙන ධාවනය කිරීමයි. එන්ජිම පි‍ටුපස තිබෙන මෝටර් රථවල පි‍ටුපස වීදුරුව කුඩා නිසා, රියදුරාට පි‍ටුපස පෙනෙනවා අඩුයි, මෙම ක්‍රමය මගින් රියදුරාට හොඳින් පි‍ටුපස බලාගත හැකියි.

මේ ජාතියේ දොරවල් මුලින්ම දක්නට ලැබුනේ Lamborghini Countach මෝටර් රථයේයි. ඉන්පසු නිෂ්පාදනය වුණු Lamborghini Diablo, Lamborghini Murciélago, Lamborghini Reventón, Lamborghini Aventador සහ Lamborghini Centenario මොටර් රථ වලත් මේ වර්ගයේ දොරවල් දක්නට ලැබුනා. මේ නිසා scissor doors බොහෝ විට Lambo doors යනුවෙන්ද හැඳින්වෙනවා. මේ ජනප්‍රියත්වය නිසාම සාමාන්‍ය දොරවල් scissor door වලට හරවන ආයතන බොහෝමයක් දක්නට ලැබෙනවා.

Lamborghini Countach, Aventador, Centenario
Lamborghini Countach | Aventador | Centenario

Butterfly Doors

Butterfly door එකත් ටිකක් විතර scissor door එකට සමානයි. නොදන්න කෙනෙකුට එකපාරට දැක්කාම වෙනසක් නෑ වගේ තමයි පෙනෙන්නෙ. Butterfly door එකක ඇරෙන්නෙ, car එකේ A-pillar එක වටායි. දොර ඇරුණට පස්සෙ බැළුවාම තියෙන්නෙ භාගයක් එළියට ඇරුණු, භාගයක් උඩට ඇරුණු අවස්ථාවක. හරියට සාමාන්‍ය දොරකුයි scissor door එකකුයි mix කළා වගේ. Scissor door එකකට වඩා butterfly door එකක තියෙන වාසිය, මෝටර් රථයට ගොඩවීම සහ පිටවීම පහසු වීමයි. නමුත්, scissor door එකකට වඩා මේකට ඉඩකඩ අවශ්‍ය වනවා. Butterfly door එකත් මුලින්ම හඳුන්වා දුන්නෙ Alfa Romeo සමාගම, ඒ 1969දී හඳුන්වාදුන් Alfa Romeo 33 Stradale මෝටර් රථයෙන්. එයින් පසු Lamborghini ඇරුණාම අනෙක් බොහෝ supercar වල මේ ආකාරයේ දොරවල් දැකගන්නට පුළුවන් වුණා. 2017දී එළිදැක්වුණු Fisker EMotion මෝටර් රථය, Butterfly door හතරකින් සමන්විත වන පළමු මෝටර් රථයයි.

McLaren F1 | Saleen S7 | Fisker EMotion

Gull-wing Doors

Car එකක වහලයට සවි කරපු hinge එකක් හෝ දෙකක් වටා, උඩ අතට ඇරෙන දොරවල් හඳුන්වන්නෙ gull-wing doors හැටියට. දොර විවෘත කළාම මුහුදු ලිහිණියෙකුගෙ (seegull) අත් ත‍ටු වගේ පෙනෙන නිසා තමයි gull-wing doors කියන්නෙ. මෙවැනි දොරක ඇති වාසිය වන්නේ ඉතා කුඩා ඉඩක වුවත් විවෘත කිරීමට හැකි වීම සහ ආසනයට ඉහළින් ඇති වහලයේ කොටසද විවෘත වන නිසා, මෝටර් රථයට ඇතුළු වීම හා පිටවීම ඉතාම පහසු වීමයි. Gull-wing door එකක ප්‍රධානම අවාසියක් තමයි, බැරිවෙලා හරි car එක පෙරළුනොත් දොර අරින්න බැරි වීම.

මෙවැනි දොරක් භාවිතා කළ මුල්ම අවස්ථාව1939 දී හඳුන්වාදුන් Buggati Type 64 මෝටර් රථය වුවද, ඒ වර්ශයේදී සිදුවූ Jean Bugattiගේ මරණය නිසා, ඒ වර්ගයේ එක් රථයක් පමණයි නිෂ්පාදනය කෙරුණේ. ඒ නිසා gull-wing door එකකින් සමන්විත වුණු මුල්ම මෝටර් රථය හැටියට සැලකෙන්නෙ 1952දී හඳුන්වාදුන් Mercedes-Benz 300SL රථයයි. මෙවැනි දොරවල් දක්නට ලැබුණු වෙනත් මෝටර් රථ වන්නේ DeLorean DMC12, Gumpert Apollo, Mercedes-Benz SLS AMG, Pagani Huayra යනාදියයි. ආරක්ෂාව සලකා, Mercedes-Benz සමාගම ඔවුන්ගේ SLS AMG රථයේ hinges වලට, car එක පෙරළුනොත් පුපුරායන ආකාරයේ ඇණ යොදාගෙන තිබුණා.

Mercedes-Benz 300SL | DeLorean DMC 12 | Mercedes-Benz SLS AMG | Pagani Huayra

Falcon-wing Doors

Falcon-wing door එකත් ටිකක් gull-wing door එකට සමානයි. මේකෙ තියෙන වෙනස තමයි දොර වහලයට සවිවන ප්‍රධාන hinges වලට අමතරව, විවෘත වන වහල කොටස සහ දොරේ ඉතිරි කොටස අතරත් hinges තිබීම. දොර විවෘත කරන විට මැදින්ද නැමෙන නිසා, වාහනයෙන් එළියට විහිදෙන්නෙ නැතිව, කුඩා ඉඩක්වත් නැති තැනක වුවත් විවෘත කරන්න පුළුවන්. මේ දොර ඇරුණාම පියාපත් විහිදාගෙන ඉන්න උකුස්සෙකු (Falcon) වගෙයි. Falcon-wing door එක ලෝකයට හඳුන්වා දුන්නේ 2015දී එළිදැවුණු Tesla Model X මෝටර් රථයෙන්. මෙහි ඉදිරිපස සාමාන්‍ය දොරවල් වලින්ද පි‍ටුපස falcon-wing door වලින්ද සමන්විත වුණා. මෙම දොරවල් විවෘත කරන අවස්ථාවේ යම්කිසි බාධාවන් ඇත්නම් හඳුනා ගැනීමට sensor වලින්ද සමන්විත වනවා.

1983දී එළි දැක්වුණු Nissan NX21 concept car එකෙත් මේ ආකාරයේ දොරවල් දක්නට ලැබුනා. මේක Falcon-wing door එකක් හැටියට ගන්න බැරි, NX21 එකේ දෙවෙනි hinges set එක තියෙන්නෙ දොරේ මැද නිසා. ඒ නිසා විවෘත කළාම falcon-wing එකක් වගේ පේන්නෙ නෑ.

Tesla Model X | Nissan NX21

ඉහත විස්තර කරපු දොරවල් වර්ග තමයි, බොහෝමයක් supercar වල දක්නට ලැබෙන්නෙ. මේ වර්ගයේ දොරවල් වල තිබෙන ප්‍රධානම වාසිය තමයි දොර විවෘත කළාම ඒ ආකාරයෙන්ම හිටින එක, ඒ නිසා දොරට අත අහුවෙන්න තියෙන ඉඩකඩ ගොඩාක්ම අඩුයි. මේ අතරින් පහසුවෙන්ම සාමාන්‍ය වාහනයකට සවිකරගන්න පුළුවන් වන්නේ scissor doors තමයි. ඒ වගේ modifications කරන ආයතන බොහෝමයක් ලංකාවෙත් තියෙනවා.

මේ ලිපියෙන් විස්තර කරපු scissor doors, butterfly doors, gull-wing doors, falcon-wing doors වලට අමතරව, වෙනත් ආකාරයේ දොරවල් තියෙන මෝටර් රථත් තියෙනවා. ඒ ගැනත් ඉදිරියේදී කතාකරමු.

ප.ලි. : මේ ජාතියේ දොරවල් තිබුනා වුනත්, සමහර අවස්ථාවන් වලදී, කාර් එකේ දොර හදිසියේ වහන වෙලාවටත් අත අහු වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම කල්පනාවෙන් දොර සෙමින් වසන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *